www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

මෙම බයිබල් පාඩම් ඔබ දන්නා අයට හඳුන්වාදෙන මෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ද දේව වචනය තුළින් ශක්තිමත් වන පිණිසයි..

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

බොරුකාර තොල්.

"බොරුකාර තොල් ස්වාමින්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සැබෑ ලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය". - හිතෝපදේශ 12:22

<>දෙවියන්වහන්සේ පිළිකුල් කරණ කාරණා හතක් තිබෙන බව දේව වචනය පෙන්වාදෙයි. ඒවා අතර බොරුකියන දිව දෙවැනි තැන හිමිකර ගනියි. <>

බොරුවක් නොකියූ තැනැත්තෙක් සිටිනවා යැයි කිමද බොරුවක් වන්නේ බොරුවට අපි අකමැති වුනත් එදිනෙදා ජීවිතයේදී සුළුවෙන් හෝ අපි සැවොම එසේ කර තිබෙන නිසායි.

බොරුකීම වරදක් බව දැන දැනත් එදිනෙදා ජීවිතයේදී සුළුවෙන් හෝ බොරුවක් කීමට ඇයි අපි පෙළඹෙන්නේ? යන මේ ප්‍රශ්ණයට ඇති පිළිතුර විවිධාකාර වන්නේ ඒ වෙනුවෙන් දක්වන හේතුන් විවිධාකාර වීමයි.

මිතුරෙකු ආරක්ෂා කරගැනීමට ඇති උවමනාව නිසා හෝ තම ආත්ම ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් හෝ, වෙන කළහැකි දෙයක් නොමැති හේතුව උඩ මෙන්ම අවස්ථාවට අනුව තත්වය මඟහැර ගැනීම වෙනුවෙනුත් සමහරවිට බොරුවක් කීමට සිදුවූ බව බොහෝවිට බොහෝදෙනා පැවසුවත්, බොරුවක් කීම හෝ බොරුවකට උදව්දීම වරදක් බව අපගේම හෘද සාක්‍ෂියද අපට කොඳුරයි.

එදිනෙදා ජිවිතයේදී මුහුණපාන්නට සිදුවන නොයෙක් ආකාරයේ සාමන්‍යය අවස්තාවන් වලින් ගැලවීයාම සඳහා සමහර විට බොරුවක් කීම වරදක් නොවෙනා තත්වයට බොරුව අප සමාජයේ සාමාන්‍යය දෙයක් බවට පත්ව තිබුණත්, බොරුව තුල සැමවිටම අවධානම රැඳී තිබෙන බව දේව වචනයේ පමණක් නොව නුමුත් බොරුව නිසා එදිනෙදා අප මාධ්‍යයේ සිදුවන අපරාධත් පෙන්නුම් කරයි.

පුද්ගලිකව අපගේ ජීවිත ගැන සලකා බැලීමේදී සැබවින්ම අපි බොරුකාරයන් නොවුනත්, සමහර අවස්තාවන් වලදී මුහුණ දෙන ප්‍රශ්නයෙන් ගැලවී යෑම වෙනුවෙන් අපිත් සුළුවෙන් හෝ බොරුවක් කීමට පෙළඹෙන්නේ කියන ඒ බොරුව තුලින් කිසිවෙකුටත් කරදරයක් හෝ අමාරුවට පත්කිරීමක් හෝ සිදු නොවන බැවින් එය වරදක් ලෙසින් අපි ගණන් නොගන්නා නිසායි. ඒ නුමුත් බොරුව අවධානම් වන්නේ එය ගින්නකටත් වැඩිය භයානක එකක් වන නිසායි..

උදාහරණයක් ලෙසින් ගිනි කුරකින් දැල්වෙන ගින්නට අපි භය නොවන්නේ, ඒ ගින්න අපිට අපගේ ඇඟිලි තුඩින් නිවා දමන්නට පුළුවන් වන නිසායි. ඒ නුමුත් ගිනිකුරකින් ඇරබුන ඒ ගින්නටම ලොවක් දවා දැමීමටත් හැකිවෙයි. බොහෝවිට ගින්න හසුරුවා ගන්නා තෙක් එතුලින් විනාශයක් සිදුනොවුණත් ගින්න පාලනය කරගැනීමට නොවෙනා සෑම අවස්ථාවක් තුලදී එය විනාශය පමණක් ගෙනදෙයි. එවිට එවැනි විශාල ගින්නට අපි බියවන්නේ එයට අපව දවා දැමීමට පුළුවන් වන නිසායි.

බොරුව සාමාන්‍යය එකක් ලෙසින් අපට පෙන්නේ, එය පාලනය කරගැනීමේ හැකියාව අප අතේ තියෙන තෙක් පමණි. ගින්දර වුනත් අපිට එය අපගේ කැමැත්තට අනුව පාලනය කරගත හැකිවිට පමණක් ඒ ගැන අපි බියක් නොදක්වන ආකාරයෙන්ම, අවස්තාව හසුරුවා ගැනීම වෙනුවෙන් අපි කීමට පුරුදුවී සිටින ඒ පොඩි බොරුවටත් අපි භිය නොවෙයි. ඒ නුමුත් බොරුව ඇතිකරන ප්‍රතිඵලය අපට හසුරුවා ගැනීමට නොහැකි වන විටදී එයත් විශාල ගින්නක් මෙන් ජිවිත දවාදමයි. .

ගිනිකුරෙන් දල්වන ගින්න කුඩා එකක් වන බැවින් එය අපට අපගේ ඇඟිලි තුඩින් නිවාදැමීමට හැකිවුනත්, ගිනිකුරකින් ආරම්භවූ ඒ කුඩා ගින්න විශාල ලෙසින් පැතිරෙන විට එය නිවා දැමීමට නොහැකි වන්නේ, දැන් එහි ස්වභාවය වෙනස්වී තිබෙන නිසායි. මුලින් එය අපට අපගේ එදිනෙදා ජිවිතයට උපකාරයක් වුවත් (පහනකින් එලිය ගෙන දීමට හෝ උයා පිහා ගැනීමට) දැන් එය අප අවට ඇති අනෙක් සියල්ල දවා දමන තත්වයට පත්ව ඇති බැවින් ඒ විනාශය මඟ හැරගැනීම පහසු නොවන්නේ එය පැතිරී යන හේතුවයි.

බොරුව තුල ඇති අවධානමද එවැනි එකක් වන්නේ, කුඩාවට අප කියන බොරුවේ බලපෑම නොසිතු ලෙසින් පාලනය කරගැනීමට නොහැකි තත්වයකට පත්වන විටයි. එවිට එයද විශාල ගින්නක් මෙන් පුද්ගලික ජිවිත දවා දමන්නේ එහි බලපෑම විනාශකාරී වීමයි. සිතාමතා කියන බොරුව පාලනයෙන් බැහැරව යන සෑම අවස්ථාවකදීම එය බොහෝදෙනෙකුගේ හදවත් පුළුස්සා දමන්නේ බොරුව විනාශකාරී එකක් වන හේතුව උඩයි. .

බොරුව ක්ෂණයකින් තේරුම් ගත නොහැක්කේ එහී ස්වභාවය සැඟවී තිබෙන හේතුවයි. එදිනෙදා ජීවිතයේදී එය නොයෙක් නොයෙක් ආකාරයෙන් මෙන්ම නොයෙක් නොයෙක් අවස්තාවන් වලදී විවිධාකාරව ක්‍රියාවට නැගෙන හේතුව නිසාම බොහෝදෙනා "බොරුවට ගොඩාක් මුහුණු තිබෙයි" යනුවෙන්ද පවසයි. ඒ ගැන එසේ පැවසීමට හේතුවන්නේ බොරුව විවිධාකාරයෙන් අප සමාජයේ පෙනීසිටින නිසායි. ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රිය වෙති. යුතු ලෙස කතා කරන්නාටද ඔවුහු ප්‍රේමවෙති. හිතෝපදේශ 16:13

බොරුව ඇදහිලිවන්තයන්ට විශේෂයෙන් යමක් පවසයි. දේව වචනය ඒ ගැන පවසා ඇත්තේ බොරුවේ පියා සාතාන් නොහොත් යක්ෂයා හැටියටයි. එයින් අදහස් වන්නේ බොරුව යක්ෂයා ගෙන් ආරම්භවුවක් බවයි. ඒ අනුව බොරුව පිටුපසින් සාතාන්ගේ බලපෑමද ක්‍රියාවට නැගෙන බව දේව වචනය පෙන්වාදෙයි. බොරුව සාතාන් ට නෑකම් කියන්නේ නම්, දෙවියන්වහන්සේ අදහන ඇදහිලිවන්තයාට ඒ සමග සම්බන්ධයක් තිබිය නොහැක්කේ, සාතාන් සමග දෙවියන්වහන්සේ ගනුදෙනු නොකරන හේතුවයි. අපි සාතාන්ගේ පුරුදු වලට ඇබ්බැහි වී සිටින්නේ නම්, දෙවියන්වහන්සේගේ ආත්මයට අප තුල ක්‍රියාත්මක වීමට එය බාධාවක් ලෙසින්ද ක්‍රියාවට නැගෙයි.

බොරුව කුඩාවට ඇරඹුණත් එහි අවසානය විශාල එකක් වන්නේ එය මුළු ජීවිතයම පාලනය කරන තත්වයට වර්ධනය වන නිසායි. ඒ ගැන ආත්මික පැත්තෙන් බලද්දී එය ඇදහිලිවන්තයාගේ ආත්මික ජිවිතයට කෙලින්ම බලපාන්නේ බොරුව සාතාන්ගේ ආත්මයට සම්බන්ධවී ක්‍රියා කරන හේතුවයි. ඒ අනුව බලද්දී බොරුවට ආත්මික පැත්තක්ද හිමිවෙයි. බොරුවේ පියා ලෙසින් පෙනීසිටින සාතාන් අපගේ හදවත් බොරුව තුලින් පාලනය හිමිකර ගන්නේ ඒ ආත්මික පැත්ත උපයෝගිකර ගෙනයි. . මේ ක්‍රියාධාමය අපටත් නොදැනීම අප තුල ක්‍රියාවට නැගෙන්නේ ක්‍රමක් ක්‍රමයෙන් පියවරින් පියවරයි.

බොරුව අප අතරත් එසේම අප ජිවත්වන සමාජය තුලත් රහසින් ක්‍රියාවට නැගෙන ඒ ස්වභාවය ගැන කරනලද බොහෝ විස්තර කිරීම් ඇති නුමුත් ඇදහිලිවන්තයන් ගේ ජිවිතයට එය බලපාන ආකාරය කෙටියෙන් කොටස් හතකට බෙදා තේරුම්ගත හැකියි.

1.සුළුවෙන් කියන බොරුව.

බොරුව සමාජය තුල ක්‍රියාවට නැගෙන මුල් පියවර ලෙසින් දැකිය හැක්කේ, එය කිසිවෙකුටත් හානියක් නොවෙන අරමුණින් ක්‍රියාවට නැගෙන ස්වභාවයයි. එවිට බොරුවේ ස්වභාවය සම්පුර්ණයෙන්ම සැඟවී තිබෙයි.

කිසිවෙකුටත් හානියක් නොවෙන අරමුණින් අවස්තාව මඟ හැරගැනීම වෙනුවෙන් කියන මේ බොරුව "සුළු බොරුව” යනුවෙන්ද හඳුන්වයි. ඉංග්‍රීසි බසින් එය හඳුන්වන්නේ “සුදු බොරුව” හැටියටයි. . එයින් වෙනත් අයෙකුට අයහපතක් හෝ කරදරයක් සිදු නොවෙනා නිසාත් ඒ තුලින් කළු පැල්ලමක් කිසිවෙකුටත් ඇති නොවෙනා නිසාත් අවස්ථාවෙන් ගැලවී යාමට හෝ අවස්තාව මඟ හැරගැනීම වෙනුවෙන් සමාජය තුල ක්‍රියාවට නැගෙන “සුළු බොරුව හෝ සුදු බොරුව” ගොතා කීම එදිනෙදා ජිවිතයේ සාමාන්‍යය දෙයක් යන තත්වයට පත්ව තිබෙයි.

බොරුව සුළුවෙන් අප අතින් සිදුවුවත්, එයින් යමෙකුට හානියක් ක්ෂණයකින් නොපැමිණුනත්, බොරුව සාධාරණ යැයි පැවසීමට හැකි නොවන්නේ, එය යමෙක් ක්ෂුක්ෂමව රැවටීමට ලක්කරණ හේතුවයි. ඒ අනුව බොරුව අරමුණු කරන්නේ රැවටීම හෝ මුලාකිරීමයි. නොදැනෙන ලෙසින් අප කරන මේ රැවටීම සැබවින්ම මුලාකිරීමක් වන්නේ එය අපි සිතා මතා කරන හේතුවයි.

එය අප අතින් සුළුවෙන් සිදුවුනත්, එහි බලපෑම විශාල එකක් නොවෙයි යනුවෙන් අපට හැඟුනත් , දේව වචනයට අනුව මුලාව සහ රැවටිල්ල “පාපය” ලෙසින්ද හඳුන්වා ඇති බැවින් ඇදහිලිවන්තයාට බොරුකීම ගණන් නොගෙන සිටීමට නොහැකි වන්නේ, ආදම් සහ ඒවා දෙවියන්වහන්සේ ගෙන් වෙන්කර තැබීමට තරම් බලවත් වු පාපයත් “බොරුවක් ” තුලින් මතුවීමයි. සාතාන් ගේ බොරුවට ආදම් සහ ඒවා කිකරුවිම තුලින් මිනිසා වර්ගයා පාපයට වැටුණු බව උප්පත්ති පොත කියා සිටියි. ඒ අනුව බොරුව සාතාන් ගේ ආත්මයට සම්බන්ධවී ක්‍රියාකරයි.

අප ජිවත්වන ජන සමාජය බොරුවට අලුතින් අර්ථකතන මවාදී එහි සැබෑ ස්වභාවය මෙන්ම එහි බාහිර බලපෑමද වෙනස්කර පෙන්වීමට උත්සාහ කලත්, ඒ අලුත් නම් පිටුපසින් සැඟවී සිටින බොරුවේ බලපෑම වෙනස් නොවන බවත් මෙහිදී අප තේරුම් ගත යුත්තේ දෙවියන්වහන්සේ පවා බොරුව පිළිකුල් කරන නිසායි. " ස්වාමින්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබෙයි;
එසේය උන්වහන්සේට පිළිකුල්වූ කාරණා හතක් තිබෙයි:
උඩඟු ඇස්ය,
බොරුකාර දිවය,
නිදොස් ලේ වගුරුවන අත්ය,
දුෂ්ඨ උපා යොදන සිතය,
නපුරට දුවන්නට ඉක්මන්වන පාදයෝය,
මුසාබස් නික්මවන් බොරු සාක්ෂි කාරයාය,
සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය".
-හිතෝපදේශ 6:16-19

2. අප සමාජය තුල බොරුව ක්‍රියාවට නැගෙන ඊළඟ පියවර ලෙසින් දැකිය හැක්කේ, පළමු බොරුව වසා ගැනීමට හෝ එතුලින් මතුවූ වරද නිවැරදි කරගැනීමට තවත් බොරුවක්ම ගොතා කියන පුරුද්දයි.

බොහෝ විට සුළුවෙන් කියන බොරුව එතරම් ප්‍රශ්නයක් නොවුණත්, සමහර විට ඒ සුළු බොරුව එළිදරව් වීම නිසා ඒ තත්වය මඟ හැර ගැනීමට හෝ එවැනි අවස්තාවලදී මුලින් කියූ බොරුව වසා ගැනීමට හෝ එයින් ඇතිවෙන පාඩුව අවම කරගැනීම සඳහා තව බොරුවක් කියා තත්වය පාලනය කරගැනීම දෙවැනි පියවර ලෙසින් දැකිය හැකියි. .

එක බොරුවක් වසා ගැනීමට අපි තවත් බොරුවක්ම කියා සිටින්නේ අපි බොරුවක් කියන බව අනෙක් අය නොදන්නා නිසායි. ඒ නුමුත් බොරුව වසා ගැනීමට අප කියා සිටින ඒ දෙවැනි බොරුව, අප පළමුවෙන් කියූ ඒ පළමු බොරුවටත් වඩා බලවත් වන්නේ, මෙහිදී අප අනෙකා උවමනාවෙන්ම රැවටීමට පත්කරණ උත්සාහයක්ද වන නිසායි. එවිට එය සිතින් නොව නුමුත් සැලසුම් සහගතව හදවතින් පැමිණෙයි.

3.බොරුවේ තුන්වැනි පියවර වන්නේ, එය අපව ආක්‍රමණය කිරීමයි.

බොරුව හදවතින් මතුවීමට පටන් ගන්නා විට සිදුවන්නේ නිවැරදි දේ ගැන අප තුළ මුල් බැස තිබෙන වැරදි හැඟීමද (හෘද සාක්‍ෂිය) ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී යාමට පටන් ගැනීමයි. අපගේ හෘද සාක්ෂිය අභිබවා හැඟීමෙන් තොරව බොරුව පාවිච්චි කිරීමට පටන් ගන්නා මේ තත්වය තුන්වැනි පියවර ලෙසින් සිදුවෙයි.

මේ පියවරේ පටන් ගැනීම අප තුල නිදහසේ ක්‍රියාවට නැගෙන හෘද සාක්ෂියටත් කෙලින්ම බලපායි. බොරුව දිගින් දිගටම සිදුවීමට අප ඉඩහරින විට එය ක්‍රමක් ක්‍රමයෙන් අපගේ හෘද සාක්ෂියේ සියුම් කම මොට්ට කරදැමීමට පටන්ගනියි. වරක් දෙවරක් නොව නුමුත් දිගින් දිගටම බොරු කීම සාමාන්‍යය පුරුද්දක් බවට පත්වීම ඒ අවසානයයි. බොරුවේ ස්වභාවය එයයි.

4.බොරුවේ හතරවැනි පියවර වන්නේ, අපගේ හෘද සාක්‍ෂියේ සියුම්කම දැන් අඩුවී ඇති බැවින් බොරුව බොරුවක් සේ නොපෙනීමටත් බොරුවේ හානිය ගැන නොහැඟීමටත් පටන් ගැනීමයි.

එහි අවසානය වන්නේ තමා ඉදිරියේ ඇති සැබෑව පිළිගැනීමට නොහැකි තත්වයට අප අපටත් නොදැනීම ඇද වැටීමයි. බොරු කීම වරදක් බව පෙන්වාදෙන අපගේ හෘද සාක්ෂියේ හඬ නොහැඟෙන තත්වයට පත්වීම මේ මේ පියවරේ අවසානයි. ඒ යථාර්තය කෙතරම් භයානක වන්නේද නම්, බොරුව සත්‍යය ලෙසත් සත්‍යය බොරුව ලෙසත් කිසි පැකිලීමකින් තොරව පිළිගෙන ක්‍රියා කිරීමට පෙළඹෙයි.

5. බොරුවෙන් ජීවත්වීමට පටන් ගැනීම එහි පස්වැනි පියවරයි.

මේ වනවිට බොරුකීම පුරුද්දක් වී ඇති නිසාමත්, ඒ ගැන හෘද සාක්‍ෂිය පෙන්වාදෙන හැඟීම ගණන් නොගෙන සිටීමට පුරුදුවී සිටීමත් නිසා දැන් එදිනෙදා ජීවිතයේදී කරණ කියන සැමදෙයක් වෙනුවෙන් බොරුකීම සාමාන්‍යය එකක් බවට පත්ව ජීවිතයේ සියල්ල සිදුවෙයි.

"බොරුව" තවදුරටත් බොරුවක් සේ සළකමින් නොව නුමුත් "සත්‍යය" එය බව පිළිගෙන ජීවත්වීම එවිට අප අතින් සිදුවෙයි. බොහෝවිට ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සත්‍යය පෙරලීමටත් බොරුව උපයෝගිකර ගැනීමත් මේ අවධියේදී අප අතින් බෙහෙවින් සිදුවෙයි.

6.බොරුවේ හයවැනි පියවර වන්නේ, ජිවිතයේ සියලුම අංගයන් බොරුවට යටත්වී සිදුවීමට පටන් ගැනීමයි. මේ අවස්තාව පුද්ගලිකව ජිවිතයේ සියලු කොටස් වලටද බලපෑම් ඇති කරන්නේ එය අපගේ හදවත අරක්ගෙන සිටීමයි.

අපගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදීද, අපගේ පවුලේ කටයුතු වලදීම, විවාහ ජීවිතය තුළද, දිනපතා කරන රැකියාව තුලදීද, සමාජීය කටයුතු වලදීද, යන මේ ජිවිතයේ අනෙක් සියළුම අංගයන් තුළදී පවා "බොරුව" අප තුලින් සාමාන්‍යය ලෙසින් ක්‍රියාත්මක වන්නේ දැන් බොරුවට අපි වහල්වී සිටින නිසායි.

7.බොරුවේ සත්වැනි පියවර වන්නේ, ජිවිතයේ වගකීම් බොරුවෙන් යටපත් කරගෙන ක්‍රියා කිරීමට පෙළඹීම පමණක් නොව දැන් බොරුව වෙනුවෙන් නැගීසිටීමටත් වගකීමෙන් යුතුව බොරුකිමටත් පෙළඹීම එහි අවසානයි. මේ අවස්තාව අනෙක් සියල්ලට වඩා වෙනස් වන්නේ දැන් බොරුව අපව පාලනය කරනවා පමණක් නොව අප තුලින් සිදුවන සියල්ලද බොරුවේ බලපෑම තුලින් සිදුවීම දැකීමයි.

දේව වචනය “බොරුව” ගැන නොව නුමුත් බොරුවේ “ආරම්භය සහ එහි බලපෑම” ගැන දීර්ඝව කතා කරයි. බයිබලය එළිදක්වන ආත්මික ගැලවීමට මුල්වන්නේද සාතාන්ගේ බොරුව පිළිගැනීමට තීරණය කල මිනිසාගේ අකීකරු තීරණයයි. ඒ අනුව දේව වචනයේ දිගහැරෙන දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැළැස්මට ඇති හේතුව වන්නේ බොරුව ගෙන ආ විනාශය බව පැහැදිලිව පෙනෙයි. බොරුව සාමාන්‍යය එකක් යැයි ඇදහිලිවන්තයාට පැවසීමට නොහැක්කේ ඒ නිසායි.

බොරුවේ ආරම්භය සාතන් තුලින් මතුවූ බැවින් බොරුවේ පියා යක්ෂයා නොහොත් සාතාන් බව දේව වචනය පෙන්වාදෙයි. ඒ අනුව බොරු කීම පුරුද්දක් නොව නුමුත් ආත්මික රැවටීම ලෙසින් අප තුල ක්‍රියාවට නැගෙයි. එයින් අදහස් කෙරෙන්නේ බොරුකීමට අපගේ ආත්මය පොළොඹවන්නේ සාතන්ගේ ආත්මය බවයි.

බොරුව සාතාන්ගේ ආත්මයේ ස්වභාවය ලෙසින් එළිදකින නිසා එය දේව කැමැත්තට විරුධව ක්‍රියාත්මක වෙයි. බොරුවේ ආත්මය අපගේ හදවත් පාලනය කරන විට බොරුව අප තුලින් එළිදකියි. බොරුව අප තුලින් එළිදකින්නේ නම් එය පෙන්වන්නේ අප තුල ක්‍රියා කරන්නේ සාතාන්ගේ ආත්මය බවයි. දෙවියන්වහන්සේගේ ආත්මයට ක්‍රියා කිරීමට එහි ඉඩකඩ නොමැති බවත් එය පැහැදිලිව පෙන්වාදෙයි.

"නුඹලා නුඹලාගේ පියාගේ (සාතාන්ගේ ) තෘෂ්ණාවන් ඉෂ්ඨකරන්නට කැමතිය. ඔහු පටන් ගැනීමේ සිට මිනී මරන්නෙක්ය. ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑ වෙහි නොපැවතුනේය. ඔහු බොරුවක් කියන කළ තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරු කාරයෙක්ය. බොරුවේ පියාය". - යොහාන් 8:44

බොරුව අන්ධකාරය ලෙසත් එය සැමවිටම සාතාන් වන යක්ෂයා ගේ ආත්මික බලපෑමට සම්බන්ධවී පැමිණෙන බවත් ඒ ගැන දේව වචනයේ සඳහන් ඉගැන්වීම පෙන්වාදෙයි.

බයිබලයේ ඇති ඉගැන්වීම දෙස බලනා විට බොරුවට එරෙහිව සඳහන් වන සියලු ඉගැන්වීම දෙවියන්වහන්සේට සම්බන්ධ වී සිදුවී ඇති බව පැහැදිලිව පෙනෙයි. එය පෙන්වාදෙන්නේ සාතාන් බොරුව වෙනුවෙන් පෙනිසිටිනවා වගේම දෙවියන්වහන්සේ සත්‍යය වෙනුවෙන් පෙනීසිටින වගයි. සත්‍යය දෙවියන්වහන්සේට අදාලව විස්තර කර ඇති ආකාරයෙන් බොරුව අන්ධකාරය සහ සාතාන් නොහොත් යක්ෂයාට අදාළවී එහි විස්තර කෙරෙයි.

"යේසුස්වහන්සේ ඔහුට කියන සේක; සැබෑවද, ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් දෙව් පියානන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.". - යොහාන් 14:6

" නුඹලා සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය නුඹලා නිදහස් කරන්නේය". - යොහාන් 8:32

අප පළමුවරට යම්දෙයක් ගැන බොරුවෙන් රවටන විට එය ඉතා සුළු දෙයක් මෙන් අපට පෙනුණත්, අප දිගින් දිගටම අප තුළ ක්‍රියා කිරීමට බොරුවට ඉඩහැර දෙන්නේ නම්, එය කුඩා බිජයක්සේ ඉතා ඉක්මණින් අප තුළ ගොඩනැගී වර්ධනය වෙයි.

බොරුව බොහෝවිට වරක් අප මුහුණ දෙන තත්වයෙන් මිදී යෑමට උපකාර කළත්, ඒ ගැන අප ප්‍රවේශම් නොවුණොත් බොරුවේ බලපෑම අපටත් නොදැනීම අප වටා විශාල පව්රක් මෙන් ඉතා ඉක්මණින් ගොඩනැගෙයි.

එයින් නතර නොවෙන බොරුවේ ආත්මය, එතැන් පටන් අප වටා ඇති මේ රැවටිලිකාර කමේ පව්ර තුළ සැඟවී ඒ තුලින් බලපෑම් කිරීමට පටන් ගනියි. තමන්ට ලැබිය යුතුයැයි හැඟෙන දේවල් බොරුව තුලින් අත්පත් කරගැනීමටත්, අවස්ථාවෙන් මිදීමට බොරුව ප්‍රයෝජනයට ගැනීමටත් මේ රැවටිලිකාර කමේ ආත්මය එතැන් පටන් අප තුල ක්‍රියාවට නැගෙන්නේ ආත්මිකව අපව පොළොඹවීම කරනකොටගෙනයි.

කිසිවිටෙකත් සැහීමකට පත්නොවෙන ස්වභාවයක් ඇති "මිනිසාගේ සිත" බොරුවෙන් වෙලී ගියවිට සිදුවන්නේ, තමාගේ උවමානවන් සපුරා ගැනීම වෙනුවෙන් තව කෙනෙක් පාවාදීම හෝ තව කෙනෙක් විනාශයට පත්කිරීමට පවා කැමතිවීමයි. . එසේ වන්නේ පාපයද අප තුල ක්‍රියාත්මක වන හේතුවයි. . මෙසේ නපුරා වන යක්ෂයාගේ ආත්මය අපගේ හදවතේ පාලකයා වී ක්‍රියා කරන්නේ අපව දෙවියන්වහන්සේ දැනගැනීමට පැමිණීමෙන් සහ උන්වහන්සේට කීකරුවී ජීවත්වීමට ඉඩනොදී තබාගන්නා පිණිසයි.

වර්තමාන ජන සමාජය තුල "සත්‍යය" නොහොත් සැබෑව යන ඒ වචනය පවා විකුර්ති කර ඒ ගැන අලුත් ආකාරයේ අදහස් දක්වා ඇති බැවින් ඇදහිලිවන්තයන් වන අපි සැබෑ “සත්‍යය” යනු කුමක්ද කියා තේරුම් ගැනීමත් ඒ සේම ඒ ගැන අපගේ දරු පරම්පරාවට තේරුම් කරදීමේ අවශ්‍යයතාවයත් මතුවෙයි. සත්‍යය පහදා ගැනීම වෙනුවෙන් අපට ඇති එකම මාර්ගය වන්නේ දෙවියන්වහන්සේ විසින් අපට එළිදරව් කරදී ඇති සත්‍යය මේ යැයි පෙන්වාදෙන උන්වහන්සේ ගේම වචනයයි. ඒ සඳහා ඇදහිලිවන්තයන් වන අපත් උනන්දුවෙන් ක්‍රියා කල යුතු වන්නේ සාතාන්ගේ බලපෑමද ඒ වෙනුවෙන් හරස්ව ක්‍රියා කරන නිසායි.

ඇදහිලිවන්තයන් වන අපිට බොරුවෙන් ජය ගැනීම යනුවෙන් අදහස් වන්නේ , සාතාන්ගේ බලපෑමෙන් මිදීම යන අදහසයි. සාතාන්ගේ බලපෑමෙන් මිදිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කුරුසියේ කල ජිවිත පුජාව කරනකොට ගෙනයි. යේසුස් වහන්සේගේ ලෙයින් පමණක් අපට සාතාන්ගේ බලපෑමෙන් ජයගත හැකි බව බයිබලය පෙන්වාදෙන්නේ යේසුස් වහන්සේ කුරුසියේ මරණය තුලින් සාතාන්ගේ සියලු බලය පරාජය කල නිසායි.

බොරුවෙන් ජයගැනීමට නම් ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේ ගේ ආත්මික පිහිට අපට අවශ්‍යය වන්නේ, දෙවියන්වහන්සේගේ ආත්මයේ පිහිටෙන් පමණක් අපට සාතාන්ගේ ආත්මික බලපෑම පරාජය කල හැකි හේතුවයි. සත්‍යය යන ඒ දෙවියන්වහන්සේගේ ආත්මය අපගේ හදවත් තුල ජිවත්වන විට දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය අප තුලින් ක්‍රියාවට නැගෙයි. සත්‍යය තුලින් අපගේ හදවත් පාලනය වන විට එය බොරුවට විරුද්දව නැගීසිටියි.

ගීතාවලිය 51:6 මෙසේ පවසයි; "බැලුව මැනව, ඔබ සත්‍යයට කැමති වනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්නට සලස්වන සේක."

දෙවියන්වහන්සේ කැමති සත්‍යයට බව එහි පැවසෙයි. රැවටිලිකාර කම සහ බොරුවේ ආත්මය දෙවියන්වහන්සේගෙන් අපව ඈත්කර තබයි. සත්‍යය පිළිගැනීම සහ සත්‍යය අනුගමනය කිරීම යනුවෙන් බයිබලයේ අදහස් වන්නේ; අපි අපගේ වැරදි තේරුම් ගෙන, දෙවියන්වහන්සේ ඉදිරියේ ඒවා ගැන අවංකව පසුතැවිලි වී, බොරුව වෙනුවට දෙවියන්වහන්සේගේ වචනය පැවැත්වීමට කැමති වීම බව දේව වචනය කියා සිටියි. .

අවංක පසුතැවිලි වීම සත්‍යය පිළිගැනීමටත් සාතාන්ගේ ආත්මයෙන් මිදීමටත් ඉඩසලසා දෙයි. එය සත්‍යය පිළිගැනීමටත් සත්‍යයට කීකරුවී බොරුවෙන් ඈත්ව ජීවත්වීමටත් මඟ පාදයි. සැබෑ සත්‍යය වන දෙවියන්වහන්සේට කිකරුවීමට පසුතැවිලි වීම උපකාර කරයි.

සැබෑ සත්‍යය සොයනවිට අපට හමුවන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙසින් පැමිණි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයයි. එසේම සැබෑ සත්‍යය ලෙසින් පෙනීසිටින දෙවියන්වහන්සේගේ ආත්මය අප තුලට පැමිණෙන විටදී බොරුවට හෝ බොරුවේ පියා ලෙසින් පෙනීසිටින සාතන්ගේ ආත්මයට අප තුල ඉඩක් නොවෙයි.

“යෙමෙක් වචනයෙන් නොපැකිලෙයි නම්, ඔහු මුළු ශරීරය දමනය කරගත් සම්පුර්ණ මනුෂ්‍යය යෙක්ය. අශ්වයන් අපට කීකරු කරගන්නා පිණිස උන්ගේ කටවල කටකලියාවක් දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයම හරවා ගනිමුව. එසේම, නැව කොපමණ මහත් වූ නුමුත් එය ඉතා කුඩා සුක්කානමකින් කැමති අතකට හරවනු ලබයි.
එලෙසම දිවද කුඩා අවයවයක් වන නුමුත් ලොකුවට පාරට්ටු කරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් විනාශ විය හැකිද? දිවද ගින්නක්ය! එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකම පතුරවයි. එය මුළු ශරීරය කිලිටුකර සකල ලෝකයටම ගිනි අවුලවයි. එකේ ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.
දිව දමනය කරගන්නට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. එක කැරලිකාර වූ මරණිය විෂෙන් පුර්ණ වූ නපුරු දෙයක්ය. එයින් දෙවියන්වහන්සේට අපි ප්‍රශංසා කරමුව. එසේම එයින් අපි ස්වාමින්වහන්සේ ගේ සමානත්වයෙන් සෑදු මනුෂ්‍යයාට ශාප කරමුව.
ප්‍රශංසාවත් ශාපයත් එකමැ මුඛයෙන් නික්මිය යුතුද? උල්පත එක සිදුරෙන් මිහිරි දියත්, තිත්ත දියත් නිකුත් කරයිද? සහෝදරයෙනි, අත්තිකා ගහේ ඔලිව ඵලවත්, මුද්‍රික වැලේ අත්තික්කා ඵලත්වත්, හටගනියිද? කරදියෙන් මිරිදිය නික්මෙන්නට නුපුළුවන. “
-යාකොබ්

මේ තර්කය තුලින් යාකොබ් තුමා පෙන්වදෙන්නේද, ඇදහිලිවන්තයන්ට සාතන්ගේ ආත්මය තුලින් ක්‍රියාවට නැගෙන බොරුව සමග පංගුකාරකමක් නොමැත යන යථාර්තයයි.

(ධර්මදාස වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.